Sunday 9 March 2014

සිංහල බ්ලොග් ලෝකයේ පොරක් වෙන්නේ කෙසේද ?


දැන් ඉස්සරට වඩා බ්ලොග් ලියන්න අය එනවා. හැබැයි ලියන ඒවා නං බොහෝකොට අන්තිමයි. බොහෝ වෙලාවට තියෙන්නේ කොහෙන් හරි කොපි කරලා තමන්ගේ වගේ දාගත්ත එකක් , නැත්නම් මෙලෝ හරයක් නැති ප්‍රලාප ටිකක් . නැත්නම් ඉතාම පටු කෝණයක හිරවෙලා ඉඳගෙන ලෝකේ විග්‍රහ කරලා තමන්ගේ "පෘතුල බුද්ධිය" විදහා පෑමට උත්සාහ කරන අදෝනාවක්.

එත් කමක් නැහැ. තමන්ට කැමති දෙයක් ලිවිම තමන්ට ඇති අයිතියක්. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙතන. මේ එන ගොඩක් උදවිය ඉන්නේ සිරස සුපර් ස්ටාර් මානසිකත්වයේ. එක රැයෙන් සිංහල බ්ලොග් ලෝකයේ දිදුලන තරුවක් වීමේ ලාමක මානසිකත්වයෙන්. පොස්ට් කීපයක් දාල ඔවුන් බලාපොරොත්තු වෙනවා බ්ලොග් ලෝකයේ නැගී එන සුපිරි තරුව , එක පොස්ට් එකකට හිට්ස් 1000 ක් , කොමෙට් 100 ක්. බුද්ධිමත් දාර්ශනික බ්ලොග් කරුවන් අතර අග තනතුරක්. 

දවසෙන් දෙකෙන් එහෙම නොවෙන බව තේරුනාම ඔවුන් නොඉවසිලිමත් වෙනවා. කොහොම හරි ජනප්‍රිය වෙන්න කරන තුට්ටු දෙකේ හිඟන යාදිනි , වංචනික ක්‍රියා සහ කල්ලි ගැසීම් නිසා නිකංම පීචන් වෙලා හත්පොලේ ගාගෙන බ්ලොග් වේදිකාවෙන් කීප දිනකින්ම ඉවත් වී යනවා.

ඉතිං දැන් අහන්න තියෙන ප්‍රශ්නය. බ්ලොග් ලෝකයේ පොරක් වෙන්න ඔය තරම් අමාරුද ? මොකද්ද බ්ලොග් ලෝකයේ පොරක් වෙන්න තිබෙන නොවරදින මාර්ගය ?

මාතලන් ගොයියා බ්ලොග් ලියන හැටි කියල දෙන්න පාඨමාළා තිබ්බට මෙහෙම එකක් ලියල නැහැනේ. එක නිසා මේ පොර වෙන හැටි කියා දීම මහසොහොන්ගෙන් ම පමණයි. මම මේක මගේ නීතිඥයන්ට යවල අනුමැතිය අරන් තමයි දාන්නේ. හිකිස්!

Oky , jokes aside... හෙමිහිට බලමු පොර වෙන විදිය. මෙන්න තියෙනවා ඒ සම්බන්ධයෙන්  වෙන දස පනත.

1. තමන්ට ආවේනික අනන්‍යතාවයක් සකසා ගන්න. 

මේ අනන්‍යතාවය ඕන දෙයක් වෙන්න පුළුවන්. හැබැයි කොපි කැට් ඔට්ටු නැහැ. කතන්දරකාරයාගේ ජනප්‍රියතාවය දැකල ඒ වගේම තවත් බ්ලොග් එකක් "මගේ කතන්දර" , "ගම කතා" වගේ එකක් පටන්ගන්නවට වඩා වෙනස් දෙයක් කරන්න පටන්ගන්න එක තමයි නිර්මානශිලිත්වයක් තිබෙන දියුණුවෙන දෙයක් කරන්න කැමති කෙනෙකුට ඔබින්නේ.

මේ අනන්‍යතාවය තමන්ගේ සැබෑ චරිතයත් සමග සමපාත වීම කිසිසේත්ම අවශ්‍ය නැහැ. එහෙම උනා කියල ප්‍රශ්නෙකුත් නැහැ. නමුත් මොකක් උනත් තමන් සයිබර් අවකාශයේ ගොඩනගා ගන්නා චරිතයට තමන් 100% ක් සාධාරණය ඉෂ්ට කල යුතුයි. මෝඩ යකා කළා වගේ භාෂණයේ අයිතිය ගැන දාර්ශනික මත දෙසා බාමින් කොමෙන්ටු මැකීම වගේ දෙකින් පෙන්වන්නේ තමන්, තමන් ගොඩනංවන්න හදන චරිතයට 100% සාධාරණය ඉෂ්ට කරන්නේ නැති බවයි. එහෙම යථාවාදී , තථාකාරී නොවෙන , එකක් කියමින් වෙන දෙයක් කරන බ්ලොග් චරිත නිකන්ම පීචන් වෙලා යනවා.

මේ ආවේනික අනන්‍යතාවය කියන එකට තමන්ගේ ප්රෝෆයිලයේ නම , එයට අදාළ රුපය , භාෂාව පරිහරණය කරන විලාශය සහ තමන් නිරුපනය කරන්න , කරුණු දක්වන්න අදහස් කරන ක්ෂේත්‍ර සමපාත වීමත් අවශ්‍යයි. මේවා අතර ඝට්ටනය වීමක් සිදුවීම, එම තමන් ගොඩනංවන්න හදන ප්‍රතිරූපයට හානිදායකයි.

උදාහරණයක් ගමු.
ප්රෝෆයිලයේ නම : සොත්ති උපාලි
ප්රෝෆයිලයේ රූපය : ටෙඩි බෙයාර්
ලියන ක්ෂේත්‍ර : කවි , නිසදැස් සහ ඉවුම් පිහුම් රෙසිපි
භාෂාව පරිහරණය : අනේ හරි ස්වීට්. දිගටම ලියන්නකෝ . අපි එන්නං කියවන්න.

දැන් මේ ප්‍රෝෆයිලය දැක්ක හැටියේම පේනවා නේද මේකේ විවිධ අංශ අතර සිදුවෙලා තියෙන අසමපාත වීම. මේව කිච වෙන ප්‍රොෆයිල්/බ්ලොග් .

දැන් මේ තැනැත්තා මේක හරියට කරනවා නම් ප්‍රෝෆයිලය සකසා ගත යුත්තේ කොහොමද ?
ප්රෝෆයිලයේ නම : ස්වීට් ලයිෆ්
ප්රෝෆයිලයේ රූපය : හදවතක් හෝ කේක් ගෙඩියක්
ලියන ක්ෂේත්‍ර : කවි , නිසදැස් සහ ඉවුම් පිහුම් රෙසිපි
භාෂාව පරිහරණය : අනේ හරි ස්වීට්. දිගටම ලියන්නකෝ . අපි එන්නං කියවන්න.

සොත්ති උපාලි ප්‍රොෆයිල් එකක් නම් කොහොම වෙන්න ඕනෙද ?
ප්රෝෆයිලයේ නම : සොත්ති උපාලි
ප්රෝෆයිලයේ රූපය : ග්‍රෙනේඩ් එකක් හෝ T 56 ක්
ලියන ක්ෂේත්‍ර : දේශපාලනය , වැඩි දෙනෙක් නොදකින සමාජයේ අඳුරු පැති , මර්සි වැඩ සහ වලි වල විස්තර
භාෂාව පරිහරණය : ඩෝ දිගටම මේ වගේ ලියපන්. නැත්නම් එවනවා සුදු වෑන් එකක්.


2. තමන් දන්න දෙයක් ලියන්න. නොදන්නා දේවල් දන්නවා කියල බොරුවට ලියා කිච නොවන්න.

මේ ලෝකේ හැම දේම දන්නා මිනිස්සු හරිම දුර්ලභයි. ගොඩක් දෙනෙක් දන්නේ , සංවේදී වෙන්නේ මේ ලෝකයේ තියෙන අගණිත සංක්‍යාවක් වෙන මාතෘකා අතරින් කීපයකට පමණයි. එම නිසා තමන් ලිවීමට අදහස් කරන ක්ෂේත්‍රයන් මුලදීම තේරුම් අරගෙන ඒ ක්ෂේත්‍රයන්ට ගැලපෙන ආකාරයෙන් තමන්ගේ ප්‍රෝෆයිලය හා ඒ සමග බැඳුනු සයිබර් අනන්‍යතාවය සකසා ගන්න. උදාහරණයක් විදියට ඉහත දැක්වූ සොත්ති උපාලිගේ උදාහරණය ගන්න. හැම දේම ලියන්නට ගොස් කිච නොවන්න. දන්නේ එකක් නම් ඒ එක ලියන්න. හැම දෙයක්ම ලියන්නට අවශ්‍ය නම් ඉතාමත් ජෙනරික් ආකාරයේ ප්රෝෆයිලයක් සකසා ගන්න. උදා : කතන්දර කාරයා.


3. ඇනෝලා සමග වලියට නොයන්න

කතාවක් කියන්නන්.

ඉස්සර කාලෙක මෝඩ මිනිස්සු ජිවත් වෙච්ච ගමක් තිබ්බ. මේ ගමට හරියට මදුරු කරදරේ. ඉතින් ගමේ මිනිස්සු එකතු වෙලා පංචායත් එකක් තියල තීරණය කරා මදුරුවන්ට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරන්න. යුද්ද දවසට දිනෙත් වෙන් කරගෙන , එදා උදෙන්ම කඩු , පොලු මුගුරු , කිනිසි අරගෙන ලැස්ති වෙච්චි පිරිස මදුරුවෝ එක්ක යුද්ද කරන්න කැලෑවට වැදුන. හවස බුදුන් වහන්සේ මේ ගම මැද්දෙන් තම සඟ පිරිස එක්ක වඩිනකොට , යුද්දෙට ගිය ගම වැසියෝ බරපතල කැපුම් කෙටුම් තුවාල ලබල මැසි වල තියාගෙන ගමට ගේනවා. මැරිච්ච මදුරුවෙක් නම් පේන්න නැහැ.

ඇනොල කියන්නෙත් ඇනොපිලිස් මදුරුවෝ වගේ ජාතියක් කියල හිතා ගත්තම ගොඩක් ප්‍රශ්න විසඳෙනවා නිකන්ම.

ගුටි කන්න ආස නැත්නම් බ්රුස්ලි එක්ක කරුවල කාමරේක වලියට යන්න එපා. මෝඩ කමට එහෙම ගිහිල්ල ගුටි වදිනකොට යාදින්නා කියන්නත් එපා. Give Anos the respect they deserve. නෝටි ඇනෝලත් අතරින් පතර හිටියට ඇනෝල තමයි බ්ලොග් ලෝකේ අර ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු වල තියෙන විදියට Checks and Balances හරියට පවත්වාගෙන යන්න උදවු කරන්නේ කියල තමයි මට නම් හිතෙන්නේ.


4. කල්ලි නොගැසෙන්න. අදීනව සැමදෙනා සමගම හිතවත්ව තමන්ගේ බ්ලොගය පවත්වාගෙන යන්න.

මට කොමෙන්ට් කෙටුවොත් තමයි මමත් උබේ එකේ කොමෙන්ට් කොටන්නේ. මේ පීචන් බ්ලොග් කරුවෙකු කල්ලි ගැසෙන ආකාරයයි. ආත්මාර්ථය , ස්වාර්ථය මුලික කරගත් මෙවැනි බ්ලොග් කල්ලි සහ කල්ලි සාමාජිකයන්ගේ ජනප්‍රියතාවය එම කල්ලියෙන් පිටට නොයයි. කිසි දවසක ඔවුන් බ්ලොග් පොරවල් නොවේ.


5. ක්‍රෙඩිට් දිය යුතු තැනට ක්‍රෙඩිට් දෙන්න 

ජපන් ටීවී ප්‍රෝග්‍රෑම් වලින් screen capture අරගෙන... මෙව්වා මගෙන්ම පමණයි. තව ඕනේ නම් ගහල එවන්නද මගේ දෝත උඩ තියල වගේ කූට වංචා ප්‍රයෝග කොට එමගින් ලැබෙන කෙටි ප්‍රසිද්ධියට ගිජු වී අනාත නොවන්න.

අප සියල්ලන්ම ඉපදෙන්නේ කිසිවක් නොදන්නන් ලෙසයි. අප දන්නා සියල්ලම වාගේ අප වෙනත් තැනකින් ලබාගත් දැනුමයි. තමන් යමක් ලිවීමේදී එලෙසින් තමන් දැනුම ලබා ගත ස්ථානය පිලිබඳ සඳහන කිරීම ඉතාමත් වැදගත් මහත්මා ලක්ෂණයකි. තාක්ෂණික අංශ ගැන ලිවීමේදී මෙය ඉතාමත් වැදගත් ය. තැනක් සඳහන් කිරීමට නොහැකි නම් ඒ මාතෘකාව සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබා ගැනීම පිණිස ලිංක් කීපයක් හෝ දැමීම වැදගත් වේ. එය තමන් අවතක්සේරු වීමක් නොව තමන්ගේ නිහතමානිත්වය සහ දැනුම බෙදා ගෙන පරිහරණ කිරීමේ කැමැත්ත දක්වන කැඩපතකි. බ්ලොග් ලෝකයේ මෙන්ම ජිවිතයේද දිග ගමනක් යන තැනැත්තෙකුගේ ලක්ෂණයකි.


6. නයි ඇරීමට නොයන්න. අරිනවා නම් ඉතාමත් නිහතමානිව හීනියට අරින්න.

ඉතාමත් නිහතමානි විදියට නයෙක් දෙන්නෙක් හෙමින් සීරුවේ ඇරියාට කමක් නැත. නමුත් එය ඕවර් කිරීමෙන් වලකින්න. "ඊමේල් කවිකාරිය නොහොත් මහා ඇදුරු බිරිඳකගේ කතා වස්තුව" වැනි අමු පීචන් නම් භාවිතා කිරීම , ග්‍රාම්‍ය ආකාරයෙන් නයි ඇරීම බ්ලොග් සෞක්‍යයට ඉතා අහිතකරයි. මහා ඇදුරෙක් නෙවෙයි දෙයියන්නාන්සේගේ අඹුව උනත් කියවන අපිට එය සත පහකට වැඩක් ඇති දෙයක් නොවෙන බව ඇයට තේරුම්ගත නොහැකි වීම කනගාටුවට කාරණයකි.

කකා , කකී ගැන හීනියට කරන නයි ඇරීම , තමන්ගේ කවි කතා ප්‍රසිද්ධ කිරීමේදී භාවිතා කරන සම්‍යක් ප්‍රයෝග මෙවන් අවස්ථාවලදී උදාහරණයට ගන්න.

7. තමන් ගොඩනගා ගත් බ්ලොග් චරිතය කුමක් වුවත් මහත්මයෙක් මෙන් හැසිරෙන්න. කුණුහරුප කියා පීචන් නොවන්න.

තමන් බ්ලොග් ලෝකයේ ගතකරපු කාලය සංසන්දනය කරලා බැලුව නම් කෙන්ජි අන්කල්ට ලේසියෙන්ම ඔබා මාමට වඩා ලෙන්ගතු කවුරුත් ආදරය කරන , ගරු කරන පොරක් වෙන්න තිබ්බ මේ වෙනකොට. නමුත් කෙන්ජි අන්කල්ම තමන්ගේ මුලික ප්‍රතිරූපය එක එකා එක්ක මෝඩ විදියට වලි දාගෙන කුණුහරුප කියාගෙන , බිමතේ මෝඩ කොමෙන්ටු කොටන්න ගිහිල්ල කිච කරගත්ත හින්ද තමන්ගේ ගමන ස්ලෝව් කර ගත්ත බව තමයි මට නම් පෙන්නේ. නමුත් කාලයත් සමග අත්දැකීම් ලැබීමෙන් පරිනත වීම නිසා දැන් ඔහු බුද්ධිමත්ව , සන්වරශිලිව මහත්මයෙක් වගේ , අපහාසාත්මක නොව උපහාසාත්මකව අදහස් දක්වන බව පෙනෙන්නට තියෙනවා. ඒ ගැන මගේ සුබපැතුම් ඔහුට. ඔහොම යං. You are on right track .


8. අනවශ්‍ය ලෙස දිගින් දිගට යම් කරුණක් සම්බන්ධයෙන් සාකච්චා කිරීමට යාමෙන් වලකින්න. 

තමන් හට එකඟ විය නොහැකි කරුණක් යම් තැනක දුටුවොත් , සංවරව , කරුණු/උදාහරණ සහිතව තමන්ගේ මතය ඉදිරිපත් කරන්න. ඉන්පසු දිගින් දිගටම ඒ සම්බන්ධයෙන් විශේෂ හේතුවක් නොමැතිව වාද කිරීමට යාමෙන් වලකින්න

විශේෂයෙන් දේශපාලනය , ආගම , ආර්ථිකය , ද්‍රවිඩ ප්‍රශ්නය වැනි අක් කොන් නැති මාතෘකා සම්බන්ධව නම් වාද කිරීමට නොයන තරමට හොඳයි. හේතුව තමයි මේ කරුණු සම්බන්ධයෙන් එක් එක පුද්ගලයන් දරන අදහස් වාද විවාද මගින් වෙනස් කිරීමට ඇති අපහසුතාවය.

අන්තිමට වෙන්නේ තමන් තමන්ගේ වටිනා කාලය නිස්කාරනේ වාද කරන්න යොදල වාදෙන් දිනුව කියල තිතා ගත්තට , අනිත් තැනැත්තා තමන්ගේ මතය වෙනස් කලේ නැති එක.

A person convinced with out his will ... is of the same opinion still
කියන කාරණය වාදෙකට යන හැම වෙලේම සිහියේ තබා ගැනීම වැදගත් වේවි

9. ගල් සහ මඩ නිහතමානිව බාරගන්න... වලියට නොයන්න (Always be cool  )

සමහර වෙලාවට ප්‍රවීන බ්ලොග් කරුවන්ටත් මේක කරගන්න බැරි අවස්ථා එනවා. මාරයා කෙල්ලෙක්ගෙ ලියුමක්  ගැන දාපු බ්ලොග් පොස්ට් එකේදී කකා ගේ කොමෙන්ට් එක ගැන මාරයා සහ ඊට පස්සේ අටම කරපු  බැනවැදීම නිසා සායම ගියේ මාරයගෙයි අටමගෙයි මිස කකාගේ නෙවෙයි.   කකා එතන කක්ක මුට්ටිය ගෙනල්ල තියල  හිමිට මාරු උනා. තට්ටය කට්ටය කියන්නේ නිකන් යැ. 


තමන්ට  තමන්ගේ බ්ලොගයේ , වෙන කෙනෙක්  තමන්ට  පිළිගන්න බැරි අදහසක් දැම්මා නම්  , ඒ සම්බන්ධයෙන්  කියන්න තියෙන්නේ බැන වැදීමක් විතරක් ම නම් ... මුකුත්ම නොකිය ඉන්න එක තමා නුවනට හුරු.

10. ඉක්මන් ජනප්‍රිය තාවය උදෙසා අන් බ්ලොග් ස්පෑම් කිරීමෙන් , හිඟන යාතිකා කිරීමෙන් වලකින්න. 

ට්‍රැෆික් අද්ද ගැනීමට කොමෙන්ට් කෙටීමෙන් වලකින්න.
උදා 1:
එල
මම වකපුටේ යන අහවලා

උදා 2:
පට්ටයි ඔයි
අපේ පැත්තෙත් එන්න මෙන්න පාර : gon-baas.blogspot.com

උදා 3:
හිකිස්
අනේ මාවත් මුන්නහෙගේ බ්ලොග් රෝලට දාගන්නවකෝ ඔයි. අනේ ඔයි. කියන තැනකට වඳින්නං ඔයි!

තමන්ට ට්‍රැෆික් අවශ්‍ය නම් , තමන්ගේ බ්ලොගය , පඳුරට ගැහුවම  100ක් විසිවෙන තරමට ඇති සිංහල බ්ලොග් සින්ඩිකේටර් වලට දමා ගන්න. වෙන බ්ලොග් වලට ගොස් එය "කියවා" මාතෘකාවට අදාළ කොමෙන්ටුවක් කොටන්න.ඔබගේ එම අදහස් දැක්වීමට කැමති කෙනෙක් ඉන්නව නම් ඔහු ඔබගේ බ්ලොගය හොයාගෙන එයි.  ගරිල්ලා මාකටිං කිරීමට ගොස් පීචන් නොවන්න 

හැදෙන එකෙක් ට මේ ටිප්ස් ටික හොඳටම ප්‍රමාණවත් ය. එහෙනම් මම චුත උනා භවනට . ටටා බායි.